බැසිල්-ගෝඨා ගැටුම එළියට – නියෝජ්‍ය කථානායක ජන්දයේදී මහින්ද පිල දෙකට බෙදෙයි.

නියෝජ්‍ය කථානායකවරයකු තෝරා ගැනීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයෙන් ඍජුවම මහින්ද පිල නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ අභ්‍යන්තර අර්බුදය එළිපිටම ප්‍රකාශ කරමින් දෙපිල බෙදී තිබිණි. මහින්ද පිලේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ධුරයට ශ්‍රී ලනිපයෙන් ඉදිරිපත් කරන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට සහාය දක්වන ලෙස මහින්ද පිලේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලද මහින්ද, චමල්, නාමල් රාජපක්ෂ අැතුළු බැසිල් පාර්ශ්‍යවයේ මන්ත්‍රින් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ගැන ගෝඨාභය පාර්ශ්‍යවයේ දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කොට තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලනිප 16 දෙනා මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා කරන බව දැනුම් දී තිබූ අතර එම අවස්ථාවේ ඇයට සහාය දෙන බවටද ප්‍රකාශ කෙරිණි. ඒ අනුව පසුගියදා පැවැති මහින්ද පිලේ පක්ෂ නායක රැස්වීමට පසුව, ඊයේ පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට සහාය පළ කරන ලෙස දැනුම් දී ඇත.

ඒ අවස්ථාවේ බැසිල් පාර්ශ්‍යවයේ ප්‍රබලයෙකු වන ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා එයට විරෝධය ප්‍රකාශ කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රසන්නත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් දෙදෙනාත් විරුද්ධ නම් ඡන්ද නොදී ඉන්න. අනෙක් අය සුදර්ශනීට ඡන්දය දෙන්න යනුවෙනි.

මේ අතර ඊයේ පැවැති රහස් ඡන්දය මොහොතේ ඡන්ද දීමෙන් වැළකී සිටි බැසිල් පාර්ශ්‍යවය ඡන්දය දීමට පැමිණ සිටි මන්ත්‍රිවරුන්ට දුරකථනය ඔස්සේ පාර්ලිමේන්තු කැන්ටිමට කැඳවා ගෙන ගොස් කැන්ටිමේ වාඩි කරවා ගෙන ඡන්දය දීමෙන් වළක්වා ගෙන ඇති බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් කළ මන්ත්‍රිවරයා ජයග්‍රහණය කරවීමේ අරමුණින් මහින්ද පිලේ මන්ත්‍රිවරුන් 18 දෙනකු ඡන්දය දෙන අවස්ථාව මඟ හැර ඇත. ඒ අතර මහින්ද රාජපක්ෂ , චමල් රාජපක්ෂ , නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, කංචන විජේසේකර, තාරක බාලසූරිය, කනක හේරත්, ශෙහාන් සේමසිංහ, රමේෂ් පතිරණ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, මොහාන්ද සිල්වා, ඩී.වී චානක ඇතුළු මන්ත්‍රීවරු ඒ අතරවේ.

දෙමළ සංධානයේ මන්ත්‍රීවරු 16 දෙනා ශ්‍රිලනිප නියෝජිතයා වු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ජන්දය දීමට එකගතාවය පලකර තිබූ නමුත් මෙම මහින්ද පිලේ බෙදීම හේතුවෙන් ඔවුන්ද ජන්දය දීමෙන් වැලකී සිටින ලදි. අවසානයේ ආනන්ද කුමාරසිරි මහතාට ඡන්ද 97 ක් ලැබුණු අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලැබුණේ ඡන්ද 53  ක් පමණයි.  මහින්ද පිලේ 18 දෙනා සහ දෙමළ සංධානයේ 16 දෙනාත් ජන්දය ලබා දුන්නේ නම් ජන්ද 87ක් ලබාගැනීමේ අවස්ථාව තිබුණි. ඒ අනුව දෙදෙනා අතර කරට කර සටනක් ඇතිවීමට ඉඩ තිබුණි.