2014 පැමිණිල්ල අධිකරණයට අාවේ 2018… අපිට මෙහෙම නම් ජනතාවට කොහොම වෙයිද?

“අපි අද සාක්ෂි දීමට පැමිණයේ 2014 මාගම්පුර වරාය නිරීක්ෂණ චාරිකාවේ දී ඇති වූ තර්ජනය සම්බන්ධයෙන්. 2014න් පස්සෙ 2018 තමයි මේ නඩුව අධිකරණයට පැමිණිලා තියෙන්නෙ. අවුරුදු 4ක් ගිහිල්ලා තියෙනවා. අපි වගේ මන්ත්‍රීවරුන්ට අවුරුදු 4ක් යනව නම් නඩුවක් මහ අධිකරණයට පැමිණෙන්න, රටේ සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන ප්‍රමාදය ගැන හිතන්න පුළුවන්” යනුවෙන් බව සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියේ මත්තල ගුවන්තොටුපල සහ හම්බන්තොට වරායේ නිරීක්ෂණ සංචාරයක යෙදුන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකට 2014.04.17 වන හම්බන්තොට මාගම්පුර වාරයේදී එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ඊයේ (15) දින හම්බන්තොට පළාත්බද මහා අධිකරණයේ දී පැමිණිලිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

කෙසේ වුවද පැමිණිලිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව යළි ජුනි 13 වනදා තෙක් නඩුව කල් තැබීමට මහ අධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නියෝග කරනු ලැබීය.

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුට විරුද්ධව ගොනු කරනු ලැබූ අධිචෝදන පත්‍ර ගොනු කිරීමකට අනුව සාක්ෂිකරුවන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර යන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම ඊයේ සිදු කෙරුණි.

මෙම නඩු විභාගය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 52 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කිරීමට නියමිතව තිබේ. ඒ අතර මාධ්‍යවේදීන් ද සිටින අතර මේ වන විට සාක්ෂි සටහන් කර ගෙන ඇත්තේ සාක්ෂිකරුවන් හතර දෙනෙකුගෙන් පමණි.