හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.ඒ අනුව එහි පැමිණි හිටපු අමාත්‍යවරයාව එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 09 සහ 11 යන දිනවල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට නියෝග කර තිබු නමුත් එම දිනවල ඔහු එහි නොපැමිණ ඇති බව පොලිසිය පවසයි.

2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39 ක මුදලක් අවභාවිත කර ඇති බවට අලුත්ගමගේ මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වේ.එලෙස රජයේ මුදලින් මිලදී ගත් කැරම් සහ දාම් බෝඩ්, 2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණය ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා භාවිතා කළ බවට ද චෝදනා එල්ලවී තිබේ.

අදාළ ගණුදෙනුවට සම්බන්ධ බව පැවසෙන සතොස ආයතනයේ හිටපු සභාපතිවරයකු වන නලින් ප්‍රනාන්දු පසුගිය 06 වෙනිදා රටින් පිටවීමට උත්සාහ කිරිමේදී අත්අඩංගුවට ගනු ලැබිණි. පසුව අප්‍රේල් 12 වෙනිදා ඔහු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනුකර තිබු අතර එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබිණි.

ඉන් පසු තමන් නීති විරෝධී ආකාරයට අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ද විශේෂ අභියාචනා අවසර පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාගයට ගැනීමට තවමත් දින නියමවී නොමැත.

මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ මහින්දානන්ද අලුත්මගගේ මන්ත්‍රීවරයා 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී ද පොලිස් අත්අඩංගුවට පත් විය. ඊට අමතරව තවත් මූල්‍ය අපරාධ චෝදනා කීපයක් සම්බන්ධයෙන් ද ඔහුට නඩු පවරා තිබේ.