ඇප මත මුදා හැරීමට නියෝග කල මහින්දානන්ද රක්ෂිත බන්ධනාගාරයට.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇප නියම වූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා  ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. කොළඹ මහාධිකරණය භාරයේ සිය විදේශ ගමන් බලපත්‍රය ඇති බවට වූ ඇප කොන්දේසිය සහතික කිරීමට නොහැකි වීම නිසා මහින්දානන්ද අලුත්ගමගේ හෙට(17) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හිටපු ඇමැතිවරයාට රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍රයට අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළත් එම ඇප කොන්දේසිය සපුරාලීමට අලුත්ගමගේ මහතා අපහොසත්වීම නිසා ඔහු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කැරිණි.

කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන වෙනත් නඩුවක් සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කර ඇති බව ඔහුගේ නීතීඥවරුන් පැවසුවත් ඒ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කිරීමට නොහැකි බව අධිකරණයේදී හෙළි විය.

මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් කළ දැනුම්දීමක් අනුව අලුත්ගමගේ මහතා අද ප්‍රකාශයක් ලබා දීමට එම කොට්ඨාසයට පැමිණියේය. ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.