අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අලුත් අවුරුදු පනිවුඩය

ජාතිය, ආගම, තරාතිරම කුමක් වුව ද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින් සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන් දිවි ගෙවීමට මෙම අළුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගනිමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු පනිවුඩය නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සබැඳියාව අර්ථවත් කරමින්, හිරු ප්‍රමුඛ සොබා දහමට කෘතවේදිත්වය පුද කරන, ජාතික සමඟිය සහෝදරත්වය ඔප් නංවන සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි.

වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා අප රටේ සැම දෙනා එක්ව සමරනු ලබන ප්‍රමුඛතම ජාතික උත්සවය සිංහල, දමිළ අලුත් අවුරුද්දයි. ජාතිය, ආගම, තරාතිරම කුමක් වුවද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින්, සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන් දිවි ගෙවීමට මෙම අළුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගනිමු.

චිරාත් කාලයක සිට දේශීය ජන ජීවිතය හා ඒකාත්මිකව පැවත එන අළුත් අවුරුදු සිරිත් විරිත් සඳහා අර්ථවත්ව සහභාගි වෙමින් එම සංස්කෘතික උරුමය අපගේ අනාගත පරපුරට තිළිණ කිරීම සඳහා ද මෙය අවස්ථාවක් කරගනිමු.

සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම උදෙසා, සාමය, සංහිඳියාව, සහජීවනය වෙනුවෙන් කැප වී කටයුතු කරන, ප්‍රීතිමත්, සුබ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනය කරමි.