ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අද(11) මධ්‍යම කාරක සභා රැස්වීම හදිස්සියේ අත්හිටුවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ මධ්‍යම කාරක සභාව රැස්වීමේ නිශ්චිත දිනයක් මෙතෙක් තීරණය කර නොමැති බවයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා දින පළමු වරට රැස්වුණා. එහිදී විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා එම ධූරවලින් ඉවත් වීමට මධ්‍යම කාරක සභාවෙන් අනුමැතිය ඉල්ලා සිටියා.
ඊට අනුමැතිය ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද පස්වරුවේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණා.

සඳුදා රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුළදී මෙම කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ පැවති කැබිනට්  සාකච්ඡාවට නිදහස් පක්ෂ අමාත්‍ය මණ්ඩලය සහභාගී වූයේ නැහැ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනෙකු පක්ෂව ඡන්දය ලබා දීමෙන් අනතුරුව අර්බුදකාරී තත්ත්වයක් හටගත්තා.එම අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ද එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ප්‍රකාශ සිදු කරනු ලැබුවා.

එමෙන්ම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන් ද මේ වන විට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.