තමා අත්අඩංගුවට නොගන්නැයි මහින්දානන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් ඉල්ලයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන්ව නීති විරෝධී ආකාරයට අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ  විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා අවසර පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නම් කර ඇති බවත් පැවසේ.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා ඇත්තේ, තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ක්‍රීඩා අමාත්‍යාංශයට carrom board ඇතුළු ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි. එමෙන්ම තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මීට පෙර අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ ද එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළ බවද  මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර ඇත.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අයුක්ති සහගත ලෙස තමාට අදාළ පරීක්ෂණය මෙහෙයවන බව චෝදනා කරන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ හේතුවෙන් සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.