දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (09) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා හමුවේදී පක්ෂය වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ   අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ය. ඔහුගේ යෝජනාව ස්ථිර කර ඇත්තේ අමාත්‍ය එස්.බී. දිසානායක විසින්ය.වාර්තා වන ආකාරයට ඔවුන් දෙදෙනා සිය පාර්ශවයේ යෝජනාව වෙනුවෙන් දීර්ඝ පැහැදිළි කිරීමක්ද සිදුකර ඇති අතර සාකච්ඡා සභාවම නිහඬව ඊට කන්දී ඇත. එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ බැඳුම්කර ගනුදෙනුව සහ එජාප ප්‍රතිපත්ති සමඟ කටයුතු කිරීම හේතුවෙන් පක්ෂය පළාත් පාලන මැතිවරණයේදී අන්ත පරාජයට පත්වූ බවත් ඉදිරි පරාජයන් වලක්වා ගන්න නම් වාහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවය.

යාපා – එස්.බී යෝජනාවට : දුමින්ද සහ  අමරවීර වෙතින් දැඩි විරෝධයක්

Amarawera

පසුව ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර එම යෝජනාවට විරුද්ධව අදහස් දක්වා ඇත.

එම කරුණු දැක්වීමද දීර්ඝව සිදුව තිබෙන අතර ඔවුන් පෙන්වාදී ඇත්තේ පළාත් පාලන මැතිවරණ පරාජයට හේතුව පක්ෂය එක මතයක සිට ඊට ඉදිරිපත් නොවීම සහ වගකීම් ඉසිළු පාර්ශව පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කොතරම් කැපවීමෙන් කටයුතු කළාද යන්න සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙන බවය.

එසේම මැතිවරණ සමයේ පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත්වූ බවත් ඒ හේතුවෙන් ජනතා විශ්වාසය පළුදුවූ බවද ඔවුන් පෙන්වා දී ඇත.

එම ප්‍රකාශය අනුමත කරමින් උතුරේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේද අදහස් දක්වා ඇති අතර පක්ෂයක් ලෙස නිශ්චිත දර්ශනයක් නොමැතිව මැතිවරණයට යාම පරාජයේ මුල බව ඔහුද පෙන්වාදී ඇත.

විකාර යෝජනා ගෙනල්ලා පක්ෂය විගඩමක් කරන්න එපා – චන්ද්‍රිකා

මේ ආකාරයට පැය කිහිපයක් පැවති අදහස් දැක්වීම් වෙත සවන්දී සිටි ශ්‍රීලනිපයේ ජේෂ්ඨ උපදේශක හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සාකච්ඡාව අමතා ඇති අතර ඇය කතාව ආරම්භ කර ඇත්තේ ශ්‍රීලනිපය අමාත්‍යධුර අත්හැර ආණ්ඩුවෙන් ඉවත්වීමට කරන යෝජනාවේ පදනම පැහැදිළි නැති බවත් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්කර දේශපාලන විගඩමක් බවට පත්කරන්න අවශ්‍යව ඇති රාජපක්ෂලාගේ උවමනාවට පමණක් එය සමාන බව තම අදහස වන බව සඳහන් කරමින්ය.

එසේම ආණ්ඩුවෙන් යමු කීවාට යන්නේ කොහෙටද ? විපක්ෂයටද? ඒකාබද්ධ විපක්ෂයටද? පොහොට්ටුවටද ? මොකක්ද කියන්නේ,  කෙලින් කතානොකර වටේ යන්නේ  ඇයි – චන්ද්‍රිකා

Madame CBK 2 1024x682 390x260

පළාත් පාලන මැතිවරණයෙන් පක්ෂය 13%ක ජන්ද පදනමකට සීමාවූයේ බැඳුම්කර චෝදනාව නිසා නම් එම චෝදනාවට සෘජුව ලක්වූ එජාප ජන්ද පදනම 30%ක් පමණ වුයේ කෙසේද යන්න අවධානයට ගතයුතු බවද ඇය පෙන්වා දී ඇත.

“මැතිවරණ සමය තුළ සිරිසේන ජනාධිපතිවරයාගේ සිට මහින්දගේ පොහොට්ටු පාර්ශවයත් ජනතා විමුක්ති පෙරමුණත් බරපතල ලෙස බැඳුම්කර ගනුදෙනුව ඇතුළු දුෂණ සම්බන්ධව එජාපයට චෝදනා නැගූවා. නමුත් ඒ  සියල්ල හමුවේ එජාප ජන්ද පදනම ශ්‍රීලනිපයට සාපේක්ෂව අර්බුදයට ගිය බවක් පෙනෙන්නේ නෑ.  මං හිතන්නේ ඒ නිසා පක්ෂයේ පරාජය ගැන කියන්න මෙයාලා දක්වන හේතු වලට කිසිම පදනමක් නෑ ”

“මේ ආණ්ඩුවෙන් යමු ආණ්ඩුවෙන් යමු කියන මන්ත්‍රය නිතරම මතුකරණ එක මට පෙන්නේ රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් වගේ, මොකද ජනාධිපතිතුමා සම්මුති ආණ්ඩුව හදපු දවසේ ඉඳලා මහින්ද තමයි ඔය මන්තරය මතුර මතුර රටපුරා ගියේ” හිටපු ජනාධිපතිනිය සඳහන් කර ඇත.

බෝල පාස් කරලා තේරුමක් නෑ – ජනාධිපති

මෙහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද සාකච්ඡාවට එක්ව ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ පක්ෂයේ පරාජය ගැන එකිනෙකාට බෝල පාස් කිරීම තවදුරටත් කිසිඳු ප්‍රයෝජනයක් නොමැති කාර්යයක් බවය.

එසේම ජනතාව ජනවරම දුන්නේ රාජපක්ෂලාගේ දුෂිත ක්‍රියා සහ භීෂණය වැපුරු ක්‍රියාවන්ට දඬුවම්දී නැවත එවැනි පාලනයක් බිහිනොවීමට වගබලා ගැනීමට බවත් ඒ සියල්ල වළක්වා අඩාල කිරීමේ චෝදනාව තවමත් පක්ෂයට එල්ලවී ගළවාගත නොහැකිව ඇති බවද ජනාධිපතිවරයා සන්ධාන කර ඇත.

රහස් සාකච්ඡා නිසා හොරු අල්ලනවා කියලා ඇවිත් අපි හොරු එක්ක ගමනක් යන්න හදනවා කියන පණිවිඩයක් ජනතාවට ගියා : පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු තුන් වරක් කඩාකප්පල් වුණා – ජනාධිපති

Maithri

” පක්ෂයේ පරාජයට රහස් සාකච්ඡා බලපෑවා. දුෂිතයන්ට  හොරුන්ට වගේම භීෂණය වැපිරූ අයට එරෙහිව කටයුතු කරනකොට බාධා කිරීම් සිදුවූවා. ජනතාවට ගිය පණිවිඩය තමයි අපි පක්ෂයක් ලෙස හොරු සමඟ ගමනක් යන්න සාකච්ඡා කරමින් ඉන්න බව. ඒ විතරක්ද දැන් බලන්න පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලට සිදුවුණ විපත්තිය. තුන් පාරක් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අඩාල වුණා. මොකක්ද හේතුව? පක්ෂ ප්‍රතිසංවිධාන හරියට ඉස්සරහට ගන්නකොටම ප්‍රකාශ නිකුත් කරනවා, ප්‍රවෘත්ති හදවනවා අපි රාජපක්ෂලා එක්ක කතා කරනවා, දැන් සාර්ථකයි කියලා. බොහොම දැනුවත්ව පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කඩාකප්පල් කළ බවයි මං දැක්කේ. එහෙම කරනකොට අපේ මිනිස්සු කොහොමද හරියට කෙළින් අපි එක්ක හිටගන්නේ. ඒ විතරක් නෙවෙයි පක්ෂය කිසිම දර්ශනයක් නැතුවයි ජන්දයට ගියේ.”

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය අනුමත කරමින් නැවතත් හිටපු ජනාධිපතිනිය අදහස් දක්වා ඇත.

”ලීෆ්ලට් එකක්වත් හරියට නොගහා තිලංගලා – යාපලා  බබාලා වගේ ජන්දයට ගියේ : දැන් එනවා මෙතන ආණ්ඩුවෙන් යමු කියන්න”

” දැන් බලන්නකෝ ජන්දයට ගිය විදිහ? පොඩ්ඩක්වත් සතුටු වෙන්න පුළුවන් මට්ටමක් තිබුණද? කවදාවත් ජන්ද නොකළ බබාලා වගේ ජන්දයට ගියේ. අඩුම ගානේ ලීෆ්ලට් එකක් හරියට ගැහුවද? “ඇයි මේ ජන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්දය දෙන්න ඕන” කියලා. නෑ. මම ඇවිත් කෑගැහුවම තමයි ඒකත් ගැහුවේ. ඒකත් කිසි වැඩකට නැති එකක්. කිසිම දැක්මක් නැති නිකං කොළ කෑල්ලක් විතරයි ඒක. එහෙමද තීරණාත්මක වෙලාවක ජන්දයට යන්නේ”

“දැන් බලන්න ආණ්ඩුවෙන් අද යමු, හෙට යමු ගාන අනුර යාපා, තිලංගලා නේද ජන්දෙදි ප්‍රචාරක වැඩේ භාරව හිටියේ. පක්ෂය දිනවන්න අවංකව කැපවුනාද නැත්නම් වෙන වැඩක්ද කළේ කියලා තම තමන්ගෙන්ම අහගෙන ඉන්න. ජන්දේ වෙලාවේ මහන්සි නොවී එපා වාහෙට වැඩ කරලා දැන් එනවා පරාදයි, ආණ්ඩුවෙන් යමු ගාගෙන. මං කියන්නේ මේක පැහැදිළිවම රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණයට සහය දෙන යෝජනාවක් තමයි මේ.

රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයකට පක්ෂය පාවාදෙන්නයි මේ හදන්නේ – චන්ද්‍රිකා

Mahinda

 

“නිකමට බලන්න, ජන්දයේදී අපේ පක්ෂයේ කුට්ටියක් කඩාගෙන ගිය අය වර්ණනා කරලා UNP එකට ගැහුවා. එකම ආණ්ඩුවේ ඉඳගෙන ඇමතිකම් කර කර UNP එක ලොකුම හතුරා කරගත්තා. මිනිස්සු මෝඩ නෑ. කිසිම ප්‍රතිපත්තියක් පක්ෂයට නෑ කියලා ඔප්පු කලේ අපේ අයමයි. හොද වෙලාවට අපේ අය UNP එකට ගැහුවට එයාලා ගැහුවෙ නැත්තේ. එකට එක UNP එක කළානම් මේ ලැබුණ ජන්ද ටිකත් අඩු වෙන්න තිබුණා. කරුණාකරලා පක්ෂයට අදාරයක් තියනවා නම් මේ ජරා වැඩේ නවත්තන්න. ආණ්ඩුවෙන් එළියට ගිහින් කිසිම බලයක් නැතුව ඊළඟ ජන්දයට එන්නේ මොකක් කියලද? අපේ පක්ෂය මේ අමාරුවේ දාන එක තමයි රාජපක්ෂලා ඉල්ලන්නේ. ඒ වැඩෙන් පක්ෂය ආයෙමත් අල්ලගන්න ඔය හදන්නේ.

පක්ෂයට ඔච්චර ආදරේ නම් නැතිවුණ ජන්ද පදනම ගන්න නම් හරියට වැඩ කළොත් මේ අවුරුදු දෙකත් ඇති. මහන්සි වෙලා වැඩ කරන්න. ජනාධිපතිතුමාට සහය දෙන්න 2015 වුණ පොරොන්දු ඉෂ්ට කරන්න. ආණ්ඩුවෙන් ගියොත් වෙන්නේ ජනාධිපතිතුමාටත් ආය පාරේ බැහැලා යන්න බැරි වෙන එක විතරයි.

ආණ්ඩුවේ ඉඳගෙන ඇමතිකම් අරගෙන  ආණ්ඩුවට බනිනවා : ලැජ්ජ නැද්ද?- චන්ද්‍රිකා

මගේ අදහස ඒකාබද්ධ විපක්ෂයේ හරි පොහොට්ටුවේ අයට ඕන දේ නෙවෙයි, පක්ෂය  කරන්න ඕන. ජනතාව දිනා ගන්න ජනතාවට විශ්වාසයක් ඇතිවෙන විදිහට පක්ෂය එක මතයක ඉන්න. බලන්න කවදා වුණ දේවල්ද මේ වෙන්නේ. ඇත්තටම ලැජ්ජ නැද්ද ආණ්ඩුවේ ඉඳලා ආණ්ඩුවට ගරහන්න. රාජපක්ෂලාගේ කතා අහලා එනවා මෙතන යමු කියන්න,ලැජ්ජ නැද්ද ?” කී  හිටපු ජනාධිපතිනිය සිය අදහස් දැක්වීම එතැනින් අවසන් කර සාකච්ඡාවෙන් ඉවත්ව ගිය බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

හිටපු ජනාධිපතිනිය එම අදහස් දැක්වීම සිදුකරන විට ආණ්ඩුවෙන් යමු කී පාර්ශවයේ නියෝජිතයන් “මීක්” නොමැතිව සිටි බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන අතර ජනාධිපතිවරයාද අවධානයෙන් ඒ අසා සිටි බවත් වාර්තා වෙයි.

‌පසුව සාකච්ඡා සභාව තීරණය කර ඇත්තේ ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධව එක මතයක් නොමැති බැවින් එළඹෙන 11 වනදා නැවත මධ්‍යම කාරකසභාව රැස්වී සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවය.

(News Tube)