හිටපු ජනාධිපතිට වසර 24 ක සිර දඬුවමක්

දුෂණ චෝදනා මත දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාක් ජීන් හේයිට වසර 24 ක සිර දඬුවමක් එරට අධිකරණය විසින් නියම කර තිබේ. ජනාධිපති ධුරය දැරූ සමය බලය අයුතු ලෙස භාවිත කිරීම සහ අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා 18 ක් යටතේ පැවති නඩුවේ තීන්දුව අද(06) දිනයේ ප්‍රකාශයට පත් කරමින් එරට අධිකරණයක් විසින් මෙම දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වංචා 18 ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇය ඉන් 16 ට වරදකාරිය බව අධිකරණය තීරණය කළේය. දීර්ඝ කාලයක් පුරා පැවති විරෝධතා සහ නඩු කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස 2017 මාර්තු මාසයේදී හිටපු ජනපතිනිය තනතුරෙන් ඉවත් කරන ලදුව අත් අඩංගුවට ගැනිණි. එතැන් සිට මේ දක්වා ඇය රැඳවුම් භාරයේ පසුවූවාය.
එම දඬුවමට අමතරව ඇයට වොන් බිලියන 18ක දඬයක්ද එම අධිකරණය විසින් නියම කර තිබේ.හිටපු ජනාධිපතිනියට එරෙහි මෙම  නඩුවේ තීන්දුව ලබාදෙන අවස්ථාව එරට මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීමද විශේෂත්වයකි.  නඩු තීන්දුව සජීවී ලෙස විකාශය කිරීම සඳහා බලධාරීන් ඉඩ සැලසීම මින් පෙර නොවූ දෙයක් වුවද ඔවුන් මේ සඳහා පෙන්වා දුන්නේ මේ නඩු විභාගය සඳහා සුවිශේෂී මහජන උනන්දුවක් පැවති බවය.
කෙසේවෙතත් සෝල් නුවර රැඳවුම් කඳවුරක රදවා සිටින පාර්ක් ගියන් හේ හිටපු ජනාධිපතිනිය අද නඩු තීන්දුව ලබාදෙන අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හිටපු දකුණු කොරියානු නායිකාවගේ දූෂණවලට මූලික හේතුව මිත්‍ර සබඳතා බව හෙළිවේ. ඇයගේ මිතුරියක් වූ චොයි සූන්-සිල් (Choi Soon-sil) සමග එක්වී පාර්ක් ගන්-හේ දේශපාලන උපකාර සඳහා මුදල් රැස්කර ඇති බව කියැවේ.
හිටපු ජනාධිපතිනියගේ මිතුරිය වන චොයි සූන් සිල්
පිළිගත නොහැකි මට්ටමින් චොයි සූන්-සිල් හට නිල ලියකිලි පරිහරණයට අවස්ථාව හිටපු ජනපතිනිය විසින් ලබාදුන් බවට පැමිණිළිකරුවෝ චෝදනා කරති.
66 හැවිරිදි පාර්ක් ගියන් හේ 2013 වසරේ සිට 2017 වසර දක්වා දකුණු කොරියානු ජනාධිපති ධුරයේ කටයුතු කළේය.