විනී මැන්ඩෙලා සමුගනියි

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ ක්‍රියාකාරිනියක සහ දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ දෙවෙනි බිරිඳ වූ විනී මැන්ඩෙලා අභාවප්‍රාප්ත වූ බව වාර්තාවේ. ඇය මිය යනවිට 81 වැනි වියෙහි පසුවූ අතර දීර්ඝ කාලයක් රෝගාතුර වී සිටි බවත්, මෙම වසර ආරම්භ වීමත් සමඟ ඇය වරින් වර රෝහල්ගතව සිටි බවත් ඇගේ පවුලේ ප්‍රකාශක වික්ටර් ඩලාමිනී පවසා සිටියේය.

නෙල්සන් සහ විනී මැන්ඩෙලා, දශක තුනකට ආසන්න වර්ණභේදවාදයට එරෙහි අරගලයේ නියමුවෝ වූහ. එවකට ට්‍රාන්ස්කෙයි නමින් හැඳින්වුණ නැගෙනහිර කේප් ප්‍රදේශයේදී 1936 දී උපත ලැබූ ඇය පසුව සමාජ සේවිකාවක ලෙස පුහුණුව ලැබුවාය.

ඇයට සිය අනාගත ස්වාමි පුරුෂයා, නෙල්සන් මැන්ඩෙලා, මුණගැසුනේ 1950 දශකයේදීය. ඔවුන් වසර 38ක් විවාහකව සිටි නමුත් නෙල්සන් මැන්ඩෙලා සිරගතවීම හේතුවෙන් එයින් වසර තිහකට අධික කාලයක් ඔවුන්ට එක්ව වාසය කිරීමට අවස්ථාව නොලැබිණ.