ෆේස්බුක් ඇතුළු සමාජ ජාල අවහිර කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේම ගැටුම්

මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක පසුගිය දා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පැය 72 ක කාලයක් සඳහා මෙම සමාජ ජාල අවහිර කරන බවට රජය පැවසුව ද මේ වන විට එය සිදු කර දින 6 ක කාලයක් ගතවනවා. හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ අදාළ අවහිරතාව ඉවත් කිරීමට පෙර ඒ සඳහා වන විමර්ශනයකට අදාලව ෆේස්බුක් සමාගමේ නිලධාරීන් පිරිසක් ද අනිද්දා දින දිවයිනට පැමිණීමට නියමිත බවයි. ඔවුන් සමග පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව කිසියම් එකඟතාවයකට පැමිණිමෙන් පසුව සිකුරාදා වන විට මෙය යථා තත්ත්වයට පත්වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර අද දින දකුණු පළාත් සභා මාසික රැස්වීමේදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා අදාළ තහනමට විරෝධය පළ කරමින් දැන්වීම් පුවරුවක් ද අතැතිව සභාවට පැමිණි බවයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් පළ කළ අමාත්‍ය පාඨලී චමපික රණවක මහතා මෙලෙස කියා සිටියා. රජයේ නිශ්චිත වගකිවයුතු තැන්වලින් වහාම ප්‍රතිචාර අවශ්‍යයයි… මාධ්‍යමය වශයෙන් ප්‍රතිචාර අවශ්‍යයයි. මාධ්‍යමය වශයෙන් ප්‍රතිචාර අවශ්‍යයයි… සීග්‍රගාමි රජයක් අවශ්‍යයයි. කවුරු හරි බොරුවක් කියාගෙන එන විටම නෑ ඒක එහෙම නෑ… මේකයි ඇත්ත කියලා වහාම ප්‍රතිචාර දක්වන්න. රජයට කිසිම අවශ්‍යතාවයක් නෑ විපක්ෂයේ අදහස් පළ කිරීම වළක්වන්න. ඒකයි අපි කියන්නේ ඒකට වහාම ඉඩ දෙන්න. හැබැයි ඒවා මේ වංචනික ආකාරයට, කූඨ ලේඛන හදලා කූඨ ප්‍රකාශ හදලා රට නොමග යවන සිද්ධි තියෙනවා නම් වහාම ඒවාට නම් ප්‍රතිචාර දක්වන්න ඕනි. ඒක විපක්ෂය දේශපාලනය මැඩ පැවැත්වීමක් නෙවෙයි ඒක ඇත්තටම ශීලාචාර විපක්ෂ දේශපාලනයකට පාර කැපීමක්. බොහෝම පැහැදිළිව අපි කියනවා ඔය විපක්ෂ කණ්ඩායම්වලට සම්බන්ධ පිරිස් පැහැදිළිව තෙල්දෙණිය දිගන සිද්ධිවල පිටිපස්සේ හිටියා. ඒ පිළිබඳ අපි බලාපොරොත්තු වෙනවා පොලිසියෙන් සාධාරණ පරීක්ෂණයක් කෙරෙයි කියලා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ද සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මම රජයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේදී කිව්වා අපේ ආණ්ඩුවේ සමහර වැඩවල කොන්ද පණ නෑ. නෝන්ජල්… වෙලාවට තීන්දු තීරණ ගන්නේ නෑ. ඒ තීරණ ගන්න ප්‍රමාද වීම නිසා තමයි මේ වගේ අරාජික තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. ෆේස්බුක් එක තහනම් කරලා සතියක් වෙනවා. කොමියුනිස්ට් රටක් හැරෙන්න ෆේස්බුක් තහනම් කරපු එකම රට ලංකාව. ඒ තත්ත්වය පාලනය කරන්න දවසක් දෙකක් තුනක් තහනම් කරපු එක හරි… ඉතින් මොකටද මේ තාම අල්ලන් ඉන්නේ. රජයට තියෙන්න ඕන දියුණු තාක්ෂණය පාවිච්චි කරලා මේ අන්තවාදී පේජස් ප්‍රොෆයිල් මොනිටර් කරලා ඔවුන්ව අත්අඩංගුවට අරගෙන නීත්‍යානුකූල කටයුතු කරන්න හැකියාව තියෙන්නේ ඕනි. සියයට එකක් කරන වැරදිවලට සියයට 99කගේ ප්‍රකාශන හා භාෂණ අයිතිය උදුරා ගැනීමත් යුක්ති ධර්මයන්ට පටහැනියි කියන එකයි මගේ අදහස.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.මාධ්‍ය නිදහසට බාධා කිරීමේ අරමුණක් ඇතිව මාධ්‍යයට බාධා කිරීමේ අරමුණක් ඇතිව නෙවෙයි මෙම ක්‍රියාමාර්ගය ගත්තේ. විශේෂයෙන් මේ රටේ සාමය නිදහස ස්ථාපිත කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් රජයට තිබෙන නිසා තමයි මෙම ක්‍රියාමාර්ගය ගත්තේ. රජය මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම රටක් විදිහට හිතලා ජනතාවට මොනම ආකාරයකින්වත් අපහසුතාවයක් නොවන පරිදි ඉදිරියේදී අනිවාර්යයෙන්ම තීන්දුවක් අරගෙන ක්‍රියාත්මක කරයි. ඒක විශේෂයෙන්ම එවැනි තත්ත්වයකට මං හිතන්නේ රජයටත් ඒ ක්‍රියාමාර්ගය ගන්න අනිවාර්යයෙන්ම සිද්ද වුණා.