Facebook ඇතුළු සමාජ ජාල අවහිර කිරීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක්

පසුගිය මාර්තු 07 වෙනිදා සිට පුරා දින 05 ක් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල අවහිර කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව සිවිල් සංවිධාන රජයට පෙන්වා දෙයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සහ නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පෙන්වා දී ඇත්තේ මෙම අවහිරතාව වහා නතර නොකළහොත් ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමේ හැකියාව පවතින බවයි.

මේ අතර විදේශ අමාත්‍යංශයද මෙම සමාජ ජාල තහනම ඉවත්කරන මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා ඇති අතර මෙය රාජ්‍ය යාන්ත්‍රණයට, ව්‍යාපාර කටයුතු වලට සහ සංචාරක ව්‍යාපාරයට අහිතකර බලපෑමක් එල්ලකරවන්නක් බවද ඔවුහු පෙන්වා දෙති.

නමුත් මෙම අවහිරකිරීම අද (12) දිනය තුළ ඉවත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරන බව ඩිජිටල් සහ යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කොට ‍ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ පාර්ශවයන් ප්‍රකාශ කරනුයේ සමාජ ජාල නියාමනය කිරීම කෙසේ වෙතත් එම අවහිරතාවය හැකිතාක් ඉක්මනින් ඉවත් කළ යුතු බවය.

මේ අතර පෙර පැය 72කට පමණක් සීමා කර තිබූ එම තහනම ඉක්මනින් ඉවත් කරන ලෙස විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා. එසේම මෙම සිදුවීම් අතරතුරේ ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහු එහිදී කියා ඇත්තේ, සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන “අවිධිමත්” සහ “වෙනස් වෙමින් පවතින” මෙවලමක් වන නමුත්, ප්‍රචණ්ඩත්වය සහ නොඉවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා සමාජ ජාල යොදාගන්නා “වෛරයෙන් පිරුණු පුද්ගලයන්” විනා සමාජ මාධ්‍ය ජාල නොවන බවයි.