බිරිඳ මැරීමට තැත් කළැයි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් ෂාමිට චෝදනා

තමාව ඝාතනය කිරීමට උත්සහ කළ බව පවසමින් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමිගේ බිරිඳ විසින් එරට පොලිසියට පැමිණිල්ලක් දමා තිබෙනවා.
මොහොමඩ් ෂාමිට එක් දියණියක්ද සිටින අතර මෙම පවුල් ප්‍රශ්නය මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුල ප්‍රධාන කතාව බවට පත්ව තිබෙනවා.මෙම පවුලේ ප්‍රශ්නය මත මොහොමඩ් ෂාමි තමාට පහරදීමට ඔහු උත්සාහ කරන බවත් ෂාමිගේ පවුලේ උදවිය තමන්ට නිදිපෙති බොහෝ ලබාදීමෙන් තමාව ඝාතනය කිරීමට උත්සාහ කරන බවත් බිරිඳ විසින් පවසනවා.

ෂාමිගේ සහෝදරයෙකු තමාව දුෂණයට උත්සාහ කළ බවටද ඇය විසින් පැමිණිල්ලේ සටහන් කර තිබෙනවා.හසින් ජහාන්  සිය සැමියාගේ වැඩිමහල් සහෝදරයාට එරෙහිව දූෂණ චෝදනා යටතේ තවත් පැමිණිල්ලක් කර ඇත.

ඔහු කාන්තාවන් රැසක් සමඟ සබඳතා පවත්වන බව පවසන හසින් ජහාන්  “සැමියා දිගින් දිගටම තමාට ශාරීරික සහ මානසික වධ හිංසා සිදු කරන” බව කියා සිටින්නීය.

මේ සියලු තොරතුරු එළියට පැමිණ තිබෙන්නේ මීට ටික දිනකට පෙර මොහොමඩ් ෂාමිට අනියම් සම්බන්ධයක් ඇති බව කියමින් ඔහුගේ බිරිඳ සමාජජාලා වෙත මුදාහැරිය ඡායාරූපයකිනි. තම සැමියා කාන්තාවන්ට යවන ලදැයි පැවසෙන පණිවුඩ රැසක් ඇය සිය ෆේස්බුක් පිටුවේ පළ කරනු ලැබ ඇත.

සාපරාධී භය ගැන්වීම, විෂ ශරීරගත කිරීම සහ මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ විසිහත් හැවිරිදි පන්දු යවන මොහොමඩ් ෂාමිට එරෙහිව ගෘහස්ථ හිංසන චෝදනා යටතේ නඩු පවරා ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.එම නඩුව පවරා තිබෙන්නේ ඔහුගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.

ෂාමිට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ හැකියාව ‍පොලීසියට ඇති බව පැවැසෙන නමුත් ඔවුන් එවැනි පියවරක් ගැනීමට අදහස් නොකරන බව පෙනේ. එයට එක් හේතුවක් ලෙස ඇතැමුන් පෙන්වා දී ඇත්තේ මෙය අඹු සැමි ප්‍රශ්නයක් වීමයි. එමෙන්ම ෂාමි ප්‍රසිද්ධ පුද්ගලයෙකු නිසා ඔහුට රටින් පලා යාමට ඇති අවස්ථා අවම වීම ද තවත් හේතුවක් ලෙස පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳව කෙරෙන විමර්ශනවලට ඔහු සහය නොදුන්නොත් ෂාමි අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය පියවර ගනු ඇති බවද සඳහන් වේ. ඒ අතර ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට  වැරදිකරු වුවහොත් වසර 10 කට අධික සිර දඬුවම් හිමි විය හැකි බවද පැවැසේ.

මේ අතර පසුගිය අට වෙනිදා (මාර්තු 08) වෙනිදා ප්‍රකාශයක් කරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, මොහොමඩ් ෂාමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ගිවිසුම් සහිත ක්‍රීඩක ලැයිස්තුවෙන් ඉවත් කරන ලද බව නිවේදනය කළේය.