බංග්ලාදේශ හිටපු අගමැතිනිය කලදා ෂියාට සිර දඬුවම්

දූෂණ චෝදනා ලබා සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනිය කලදා ෂියාට අවුරුදු පහක සිර දඬුවමක් නියම කරනු ලැබීමෙන් අනතුරුව පොලිසිය සහ දහස් ගණන් විපක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් හටගත්තේය.

හිටපු අගමැතිනිය වරදකරු කරනු ලැබ සිටින්නේ ළමුන් වෙනුවෙන් පවත්වාගෙන යන පුණ්‍යායතනයකට ලැබුණ ඩොලර් 252,000 කට ආසන්න ජාත්‍යන්තර ආධාර අවභාවිත කිරීම සම්බන්ධයෙනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්තාවේදී ඩකා නුවර පිහිටි අධිකරණය ඉදිරිපිට රැස්වූ කලදා ෂියාගේ ආධාරකරුවන් දහස් ගණනක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදු විය.

මෙම දඬුවම හේතුවෙන් ඇයට මෙම වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට හෝ සහාය දීමට නොහැකි වන අතර, එය දේශපාලන බලපෑම් මත ලබා දුන් අධිකරණ තීන්දුවක් බව විපක්ෂ නායිකාවගේ ස්ථාවරයය.

වර්තමාන අගමැති ෂෙයික් හසිනාගේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වන කලදා ෂියාට එරෙහිව තවත් නඩු කිහිපයක්ම පවරනු ලැබ තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කර මිනිත්තු කිහිපයකින් පසු ඇය බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.

“මම නැවත එනවා. දුක් වෙන්න එපා, ශක්තිමත් වෙන්න,” වැලපෙමින් සිටින තම ඥාතීන්ට ඇය පැවසු බව ඩේලි ස්ටාර් (Daily Star) පුවත්පත වාර්තා කරයි.