වික්ටර් රත්නායකගේ බිරිඳ ලබන 17වැනිදා තෙක් රිමාන්ඩ්

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා ලබන 17වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් මහීල් විජේවීර මහතා අද (9) නියෝග කළේය.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(09) උදෑසන තංගල්ල පොලිසියට පැමිණීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාලව නීතිඥවරයෙකු මාර්ගයෙන් ඇය මෙලෙස තංගල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

31 වියැති ඇය තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ බැංකුව තුළ සිදුවූ රුපියල් 9,89,000ක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරු විසින් තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව අද ඇය නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට බාර වී ඇත.

අද දිනයේ ඇය බාර නොවූයේ නම් ඇය සඟවා තබාගැනීමේ චෝදනාවට ඇයගේ සුප්‍රසිද්ධ සැමියාද අත්අඩංගුවට ගැනීමට ඉඩතිබූ බවත් පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම වංචාව සම්බන්ධ සිද්ධිය පොලිසියට වාර්තාවීමෙන් පසු වසර එකහමාරක පමණ කාලයක් සිද්ධිය යටගසා තිබීම පිළිබඳවද මේ වනවිට පරීක්ෂණ ආරම්භවී ඇත. එම සිද්ධිය යට ගැසීම පිටුපස රුපියල් ලක්ෂ ගණනාවක අල්ලස් ගැනීමේ සිද්ධියක් ඇති බවක් ද මේ වන විට අනාවරණය වී තිබේ.