ජනාධිපති ධුරකාලය වසර 05 ද? 06 ද? – මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

තමන්ට ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකි කාලය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් සිදුකර ඇති බව වාර්තා වේ. 2015 වසරේ ජනවාරි 08වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 09වනදා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන ලදී.

ඉන් පසු පාර්ලිමේන්තුවට ගෙනඑන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එතෙක් ජනාධිපතිවරයෙකුට තිබූ දුරකාලය වසර 06 සිට 05 දක්වා අඩු කරනලදී.

කෙසේ නමුත් තමන් එම සංශෝධනයට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් බැවින් තමන්ට වසර 06ක්ම ධුරයේ රැඳී සිටිය හැකිද? නොඑසේනම් වසර 05කින් ජනාධිපති ධුරයේ කාලය අවසන් වන්නේද? යන්න පිළිබඳව දැනගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත. එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා (11)   ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු විමසීමට නියමිතය.

මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී විසින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතාට මේ පිළිබඳව කළ දැනුම් දීමකට අනුව නීතීඥ සංගමයේ සාමාජික සාමාජිකයින්ට මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ සිල්වා මහතා මෙම පෙත්සම විමසීමට ගන්නා අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට අවශ්‍ය නම් කරුණු ඉදිරිපත් කිරීමට හැකි බව ද දැනුම් දී ඇතැයි වාර්තා වේ.

තමන් සරළ දිවිපෙවෙතක් ගත කරන බවත් විධායක ජනාධිපති ධුරය අවසන් කරන බවත් නැවත් ජනාධිපතිවරණයක් රට තුළ නොපවත්වන බවත් ප්‍රකාශ කර බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වත්මන් හැසිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන දේශපාලන විචාරකයන් පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද වසර 06ක්ම බලය රැඳීමට මාන බලන බවට මේ අනුව තහවුරු වෙමින් තිබෙන බවය.