බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – මුහුදු නොයන්නැයි ධීවරයින්ට ඉල්ලීමක්

දිවයිනට කිලෝමීටර් 1100 ක් පමණ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සුළඟේ වේගය ඉහළ යන අතර විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
එහි  අධ්‍යක්‍ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා සඳහන් කළේ අද සිට එළඹෙන සිකුරාදා දක්වා ධීවර සහ නාවුක කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙසයි.

මේ තත්ත්වයත් සමග විශේෂයෙන් මධ්‍යම බෙංගාලබොක්ක ප්‍රදේශයේ සුළංවල වේගය පැයට කිලෝමීටර් 90-100 අතර වෙන්න පුළුවන්. නැගෙනහිර මුහුදු තීරයේ ගැඹුරු මුහුද දෙසට වන්නට පැයට කිලෝමීටර් 70-80ක් වගේ සුළං ප්‍රවාහයක් පවතින්න පුළුවන්. මුලතිව්, කිලිනොච්චි, යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල වැසි වැඩියෙන් ඇති වේ යැයි බලාපොරොත්තු වනවා. ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කය, සබරගමුව පළාත සහ බස්නාහිර පළාතේ සුළං වැඩි සම්භාවිතාවයක් තිබෙනවා. එසේම අනිත් ප්‍රදේශවල ජනතාවත් අවදානයෙන් සිටිම වැදගත් වනවා.

පවතින පීඩන අවපාතය හේතුවෙන් මේ වනවිට ධීවර කටයුතුවල නිරතව සිටින බහුදින යාත්‍රා ධීවරයින් සිය ආරක්‍ෂාව තහවුරු කර ගැනීම සඳහා බංග්ලාදේශ මුහුදු සීමාවට ගමන් කළ යුතු බව ප්‍රේමලාල් ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ වන විටත් අපි දන්නවා මධ්‍යම බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදේ අපේ බහුදින යාත්‍රා තියෙන්න පුළුවන්. අපි ඔවුන්ට උපදෙස් දී තිබෙනවා එන්න කියලා. ඒ දවස් හතරෙම, විශේෂයෙන් පහ සහ හය කියන දවස් දෙක ධීවර කටයුතුවලින් ඉවත් වෙන්න කියලා තමයි කියන්න පුළුවන්… උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ සිටිනවා නම් අපි කියලා තියෙන්නේ පුළුවන් නම් යන්න කියලා බංග්ලාදේශ පැත්තට. මොකද ඉන්දියාව පැත්තට තියෙන මුහුදු වෙරළබඩත් උපද්‍රවකාරීයි. බංග්ලාදේශය පැත්තට තියෙන වෙරළබඩ සාපේක්ෂව ආරක්ෂාකාරියි. 

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක මහතා කියා සිටියේ දිවයිනට කිලෝමීටර් 1100ක් දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩුපීඩන කලාපය ඉදිරි පැය 24ක් ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වේයැයි අපේක්ෂා කරන බවයි. එම නිසා අද දිනයේ සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලත් සුළං වේගය වැඩි විය හැකි බවද ඔහු කියා සිටියා. උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් අනෙකුත් ප්‍රදේශවල සවස 2න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක මහතා කියා සිටියා.