චන්දිමාල්-මැතිව්ස් ශතක වාර්තා කරයි – ශ්‍රී ලංකාව තවත් ලකුණු 180 ක් පසුපසින්

ඉන්දියාවට එරෙහිව ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය (4 වැනිදා) සඳහා නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 356 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා තවත් ලකුණු 180 ක් පසුපසින් සිටියි. තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි නායක දිනේෂ් චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 18 ක් සමග නොදැවී ලකුණු 147 ක් ලබාසිටි කඩුල්ලේ රැදී සිටි අතර අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි ලක්ෂාන් සඳකැන් ලකුණු ලබා සිටියේය නැත.

චන්දිමාල් පන්දු 265 කදී ශතකය සම්පූර්ණ කළ අතර එය ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය ලෙස සටහන් විය. මෙම ශතකය ලබාගැනීමත් සමග අඩුම ඉනිම් සංඛ්‍යාවකදී (ඉනිම් 80 ක් තුළදී) ටෙස්ට් ශතක 10 ක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමේ අවස්ථාවද චන්දිමාල්ට හිමිවිය. ඉනිම් 82 ක් තුළදී ශතක 10 ලබාසිටි තිලාන් සමරවීර, චන්දිමාල්ට පෙර එම වාර්තාවට හිමි කම් කීවේය. ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් (111) සමග එක්ව ලකුණු 181 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට චන්දිමාල් සමත් වූ අතර රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ රිධිමන් සහා අතට උඩ පන්දුවක් දෙමින් මැතිව්ස් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමිවට පත්විය.