“දිවයින” නැවතත් පච වෙයි.

ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අවස්ථා ගණනාවකදීම අසත්‍ය හා අවලාදාත්මක ප්‍රවෘත්ති වාර්තා කිරීම නිසා මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අපකීර්තියට පත් වූ දිවයින පුවත්පත නැවත වරක් එවැනිම ප්‍රවෘත්තියක් පල කර ජවිපෙට කණගාටුව ප්‍රකාශ කිරීමේ පුවතක් ඊයේ(02)වාර්තා විය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ටීටීඊ හිටපු ජාත්‍යන්තර අංශ නායක කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන්ට එරෙහිව ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස සහ ඔහුට අයත් දේපල පවරා ගන්නා ලෙස අධිකරණයේ පවරා තිබූ පෙත්සම පසුගිය 30වන දින අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභා කරන ලදී. මෙම ප්‍රවෘත්තිය දිවයින පුවත්පත වාර්තා කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස විජිත හේරත් පැවරූ නඩුවක් ලෙසය. එහි සිරස්තල වූයේ “කුමාර්ට එරෙහි විජිතගේ පෙත්සම ඉවතට” යන්නයි. තවද එය පල කර තිබුනේ කුමාර් ගුණරත්නම්ගේ සහ විජිත හේරත්ගේ ඡායාරූපද සහිතවය.

දිවයින පුවත්පතේ මාධ්‍ය භාවිතාව පිළිබඳව මෙහිදී පැනනගින ගැටළු ගණනාවකි. සාමාන්‍යයෙන් දේශප්‍රේමී එල්ටීටීඊ විරෝධී හැඩයකින් පවත්වාගෙන යන දිවයින වැනි පුවත්පතකට කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන් හඳුනාගැනීමට නොහැකි වීම මහත් ගැටළුවකි. එල්ටීටීඊ ජාත්‍යන්තර අංශයේ කුමන්ත්‍රණ හා ජිනීවා මානවහිමිකම් කොමිසමට කරන බලපෑම් මෙන්ම එහි ඩයස්පොරාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වඩා වැඩි වාර්තා කරණයක් කරණ ‘දිවයින’ට එහි ජාත්‍යන්තර අංශයේ හිටපු නායකයා හඳුනාගැනීමට නොහැකිවීම ගැටළුවකි.

දිගින් දිගටම සිදුකරණ මෙවැනි අසත්‍ය වාර්තා කිරීම් හරහා දිවයින පුවත්පත ඔප්පු කරමින් සිටින්නේ ඔවුන්ගේ මාධ්‍ය භාවිතාවේ දිග පළලයි. මීට පෙර ජවිපෙ නායකත්වය සහ අනුර කුමාර දිසානායකට එරෙහිව අවලාද සහිත ප්‍රවෘත්ති පල කිරීම හේතුවෙන් ඔවුන්ට ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සිදුවිය. මෙවරද ප්‍රවෘත්තිය පල කිරීමෙන් පසු,ඊට පසු දින කනගාටුව ප්‍රකාශ කිරීමක් සිදු කර තම හෙළුව වසාගැනීමට උත්සහදරා ඇත.

අනෙක් කරුණ වන්නේ මෙම අසත්‍ය ප්‍රවෘත්තිය පල කරන්නේ දිවයින පුවත්පතේ ජ්‍යෙෂ්ඨතම හා වැඩි සේවා පලපුරුද්දක් සහිත මාධ්‍යවේදියෙකු වන සරත් ධර්මසේන මහතාය. එම නිසා එවැනි ජ්‍යෙෂ්ඨයෙකු අතින් මෙවන් අතපසුවීමක් සිදුවීමට ඉඩකඩක් නොමැත. තවද සංස්කරණයේදී මෙම ප්‍රවෘත්තියේ ඇති වරද හඳුනා ගැනීමට නොහැකි වීමද ගැටළුවකි.

එමනිසා මෙම කරුණු සියල්ල අනුව පෙනී යන්නේ මෙය අත්වැරදීමක් නොව දිවයින පුවත්පත තමන්ට එරෙහි බලවේගයන් සම්බන්ධයෙන් අනුගමණය කරන ඔවුන්ගේ මාධ්‍ය භාවිතාව බවයි.