“මම මහින්ද පස්සෙන් ගිහිල්ලා දේශපාලනය කරලත් නැහැ – මගේ තැන එයාට නැති කරන්නත් බැහැ” – විජිත් විජයමුණි

තමාගේ තැන මහින්ද මහත්තයට නැති කරන්න බැරි බවත් තමන් එතුමා පස්සෙන් ගොස් දේශපාලනය කරපු කෙනෙක් නොවන බවත් වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“සාකච්ඡාවවලට මම සම්බන්ධ නැහැ. සාකච්ඡා කෙරීගෙන යනවා. ඒ සාකච්ඡා මොනවා වුණත් ඒ ප්‍රතිපලය දැනුම්දීමේ වගකීම තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාට. අප්පච්චිට මුකුත් වෙලා නැහැ. පක්ෂයේ අප්පච්චි ගෙදර යනවා කියලා කියපු නිසා තමයි අපි ඒ වෙලාවේ ගත යුතු ඉතාම හොඳම ක්‍රියාමාර්ගය අරගෙන අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එක්වෙලා මේ පක්ෂය ආරක්ෂා කරන වැඩ පිළිවෙලකට යොමු වුණේ. මතක තියා ගන්න ඕනේ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ නැත්තම් පළාත් පළාත් පාලන ජන්දය, පාර්ලිමේන්තු ජන්දය ළඟ නමනවා එහෙනම්, ළඟ නැමුනා නම් කාටත් තේරෙයි මොකක්ද වෙන්නේ කියලා. මන් පොතකුත් ලියන්න ඉන්නේ අප්පච්චිගේ මළගම කියලා. එතුමා එනවද?, තව කවුරු හරි එනවද කියන මේ පංචස්කන්ධ ගැන නෙවෙයි. අපේ පාක්ෂිකයෝ මේ ගම්වල ඉන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව. නැතුව මේ මැතිවරණය අපිට තනිව කරන්න බැරි කමකටවත් අප්පච්චි ආයේ උට්ටානය කරන්නවත් එහෙම නැත්තම් වෙන දේකටවත් නෙවෙයි.”

“අම්මා තාත්තා විරසක වෙලා හිටියත් දික්කසාද වුණත් පොඩි එවුන්ගේ මගුල් ගෙදර එනවනේ. ඒ ඇවිල්ලා කතා බහ නොකර දෙපැත්තට වෙලා ඉන්නවා. මගුල් ගේ කටයුතු වෙනවා. ආපු නෑයින්ට පේනවා මේ දෙන්නා දෙමහල්ලොත් මේ මගුලට ඇවිල්ලා කියලා. ඒවා තමයි යුතුකම. මගේ තැන මහින්ද මහත්තයට නැති කරන්න බැහැ. මම එතුමා පස්සෙන් ගිල්ලා දේශපාලනය කරපු කෙනෙක් නෙවෙයිනේ. මම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ගෝලයෙක්. ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා සේ අපි අනුන්ගේ ගෙවල් වලට රිංගලා නැහැ. අපි ඒ දිගට දීග කන්න බලාපොරොත්තුවක් නැහැ. මම නීතියට බයයි. ඒවා කතා කරන්න කට්ටියක් ඉන්නවනේ අපේ ආණ්ඩුවේ. ඒගොල්ලෝ කතා කරයි. මම පුද්ගලයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගරු කරනවා.”  යැයිද අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසීය.