දෝශාභියෝගය විවාදයට ගැනීමත් සමග රොබට් මුගාබේ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඔහුට එරෙහි දෝශාභියෝගය එරට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම ආරම්භ වීමත් සමගයි. 1980 වසරේ සිට සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කළ ඒකාධිපති පාලකයෙකු ලෙසටයි මුගාබේ සැලකෙන්නේ. ජනාධිපතිවරයා විසින් යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.

ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සහ සාමකාමීව බලය පැවරීමක් වෙනුවෙන් මෙම තීරණය ගන්නා බව එම ලිපිය මගින් දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඉල්ලා අස්වීමේ ලිපිය සිම්බාබ්වේ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමත් සමග මැති ඇමතිවරුන් ප්‍රීති ඝෝෂා පවත්වා තිබෙනවා. එමෙන්ම හරාරේ නුවර රැස්ව සිටින ජනතාව ද ප්‍රීති ඝෝෂා පවත්වමින් සිය සතුට පළකරන බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

හමුදාව සහ එරට පාලක පක්ෂයේ දැඩි බලපෑම හමුවේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර සිටි මුගාබේ අද මෙම තිරණය ස්වෙච්ඡාවෙන්ම ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.