‘ලොතරැයි මණ්ඩලය මහින්දගේ ජන්දෙ කලහැටි’ පරීක්ෂණ වාර්තාව නීතිපතිගේ හමස් පෙට්ටියේ

ජාතික ලොතරැයි මණ්ඩලයේ මුදල් යොදවා 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ වැඩසටහන් සිදුකර ඇති අතර ඒ පිලිබද විමර්ශණ අවසන් කොට නීතිපතිවරයා වෙත CR 5/4/2016 යටතේ පසුගිය වසරේ මාර්තු මාසයේ යොමුකොට ඇතත් මේ දක්වා ඒ පිලිබදව නීතිපති දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. යහපාලන ආණ්ඩුවේ ඉහලම නායකත්වයේ ආශිර්වාදය සහිතව මෙම පරීක්ෂණ කටයුතු ප්‍රමාද කිරීම් හා යටගැසීම් සිදුවන බවද අපවෙත වාර්තාවේ.

2015 ජනාධිපතිවරණ සමයේ ලොතරැයි අලෙවි ප්‍රවර්ධනයට මුවා වෙමින් මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය නැංවීම සදහා මුළු දිවයිනම ආවරනය වන පරිදි විශාල ප්‍රමානයේ ප්‍රචාරක පුවරු 150ක් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් සවිකරණ ලදි. මේ සදහා රු. 57,350,000ක මුදලක් ලොතරැයි මණ්ඩලය විසින් වියදම්කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ අලෙවි ප්‍රවර්ධනය යනුවෙන් සදහන්කර එම පුවරු මහින්ද රාජපක්ෂගේ රුව පමණක් සහිතව ප්‍රදර්ශණය කිරීමයි.

තවද ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ජංගම ට්‍රක්රථ 04ක් මගින් යුධ ජයග්‍රහණය ලබාගත් ආකාරය දැක්වෙන විවිධ චිත්‍රපට පෙන්වීම මගින් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සෘජුවම සම්බන්දවී තිබේ. මේ සදහාද ලොතරැයි මණ්ඩලය රු. 70,350,000ක් වියදම් දරා තිබේ. මෙසේ කිසිදු විනිවිදභාවයකින් තොරව ටෙන්ඩර් කටයුතු සිදුකර රුපියල් කෝටි 13 කට ආසන්න මුදලක් ලොතරැයි මණ්ඩලයට අහිමිකර ඇත.

මීට අමතරව ලොතරැයි මණ්ඩලය විසින් විවිධ හේතු දක්වමින් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ පවුලේ විවිධ කටයුතු සදහා මුදල් ලබාදී තිබේ. ඒ අතර මහින්ද රාජපක්ෂගේ උපන්දින සැමරුමක දන්සලක් සදහා රු. 63,070ක් , හම්බන්තොට පැවැත්වු ජනාධිපතිවරණ ආශිර්වාද පාගමන සදහා ආහාර වියදම් ලෙස රු. 519,915ක්, වෛද්‍ය සායනයක් සදහා රු. 1,000,000ක්, බෝධිපුජා පිංකමක් සදහා රු. 1,806,850ක්, CSN නාලිකාව සදහා රු. 1,142,375ක් ගෙවීම් කර තිබෙන බව විමර්ශණ වලදි තහවුරුවී ඇත.

මෙලෙස විවිධ ආයතන වෙත මුදල් ලබාදීම , සාපරාධී සාවද්‍ය පරිහරනය, විශ්වාසය කඩකිරීම, වංචා කිරීම ආදි චෝදනා පවත්වන ලද විමර්ශණයේදි තහවුරුවී ඇති නමුත් එම වාර්තාව නීතිපති වෙත යොමුකොට වසර 1 1/2ක් පමණ ඉක්මගොස් ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන අදාල වාර්තාව යටගසා ඇත.

රාජපක්ෂ පවුලට එරෙහිව සිදුකරන පරීක්ෂණ සියල්ලම පාහේ මේවනවිට අඩපනවි ඇති අතර බොහෝ ඒවා කල් ඇදෙමින් තිබේ. යහපාලන ආණ්ඩුවේ ඉහලම නායකත්වයේ ආශිර්වාදය සහිතව මෙම පරීක්ෂණ කටයුතු ප්‍රමාද කිරීම් හා යටගැසීම් සිදුවන බවද වාර්තාවේ. ඒ සදහා නීතිපති දෙපාර්තමේන්තුවට මෙන්ම අදාල විමර්ශන සිදුකරන ආයතන වෙත සෘජුවම මැදිහත්වීම් සිදුවනබව එහි නිලධාරීන්ද ප්‍රකාශ කරයි.

l