සිල් රෙද්දට අමතරව අනූෂ පැල්පිටගේ තවත් දූෂිත වැඩ මෙන්න

පසුගියදා අවසන් වූ සිල් රෙදි නඩු තීන්දුවෙන් වැරදි කරුවෙකු වූ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් අනූෂ පැල්පිට දූෂිත මහින්ද රාජපක්ෂ පාලනය පවත්වාගෙනයාම වෙන්වෙන් හා 2015 ජනාධිපතිවරණය කුමණ හෝ අයුරින් ජයග්‍රහණය කිරීම සඳහා සිදු කරන ලද ක්‍රියාකාරකම් රැසක් අප වෙත වාර්තා වෙයි.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරන සමයේදී කොළඹ 07 ලොන්ඩන් පෙදෙසේ නිවසක් සහ කොළඹ නගරෝදය ගොඩනැගිල්ලේ කාමරයක් හා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාමර කුලියට ගෙන කොමිෂණ් සභාවේ සේවකයින් විශාල ප්‍රමාණයක් යොදවා ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කරන ලදී. මේ සඳහා අධික මිල ගණනින් යුත් පරිගණක විශාල ප්‍රමාණයක් මිලදීගෙන ඇති අතර ඒ සඳහා කිසිඳු ටෙන්ඩර් පටිපාටියකින් තොරව රජයේ මුදල් මිලියන 10ක් පමණ වැය කර ඇත. මෙම ලොන්ඩන් පෙදෙස නිවසේ “විශේෂ විමර්ශන ඒකකය” නමින් කාර්යාලයක් පිහිටුවා 100කට ආසන්න පිරිසක් එයට අනියුක්ත කර මැතිවරණ කාලසීමාවේ මාස දෙකකට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ දෙකෙහිම වැඩකටයුතු කරන ලදී. එමෙන්ම නගරෝදය මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා පදනම් ආයතයේ කාමර එම සේවකයින්ගේ නවාතැන් පහස්කම් සඳහා පාවිච්චි කරන ලදී.

විශේෂයෙන්ම මෙහිදී මැතිවරණයක් ප්‍රකාශ කළ විට රජයේ ආයතන දේශපාලනික කටයුතු සඳහා යෙදවීම මැතිවරණ පනත අනුව බරපතල වරදකි. මාසික දීමනාව රුපියල් එක්ලක්ෂ පනස් දහසක් (රු. 150,000) හා නිල රථ රක්ෂණ ආවරණ ආදී පහසුකම් ලබාදී අනූෂ පැල්පිට විසින් පස්දෙනෙකුගෙන් යුත් උපදේශණ මණ්ඩලයක් පත් කොට ඇත. මෙම උපදේශක මණ්ඩලයේ කාර්ය භාර්යය වී ඇත්තේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමයි.

සිල්රෙදි බෙදාදීමට වැයකරණ ලද මිළියන 600ට අමතරව දිවයිනේ විහාරස්ථානවල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා විහාරස්ථාන දිනපොත් මුද්‍රණය කිරීමටද 2015 ජනාධිපතිවරණ සමයේ කොමිසමේ මුදල් යොදවන ලදී. මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයට අවස්ථා දෙකකදී රුපියල් මිලියන 4ක් සහ 2ක් ලෙස මුදල් ගෙවීමටද ජනාධිපතිවරණ සමයේ අනූෂ පැල්පිට මහතා ක්‍රියා කොට ඇත. තවද මැතිවරණ ප්‍රචාරක දැන්වීම් හා රූපවාහිනී දැන්වීම් සැකසීම වෙනුවෙන් කොමිෂන් සබාවේ මුදලින් රුපියල් ලක්ෂ 2ක් සන්තුස් ලියනගේ නැමැත්තෙකුට ගෙවා ඇත.

එමෙන්ම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පෙරදාතම සහිත දින යොදමින් විදුලි සංදේශ නියාමන කොමසමට පටු දේශපාලනික අරමුණු ඉටු කරගැනීමේ අරමුණින් බඳවාගැනීමේ ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් දේශපාලන පත්වීම් ලබාදීමද සිදු කරන ලදී.

මිට අමතරව රාජපක්ෂ පාලන සමයේ දියත් කරන ලද නෙළුම් කුළුන හා සූරියවැව “ITපාක්” ව්‍යාපෘතිය හරහාද අතිවිශාල මුදල් ප්‍රමාණයක් අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ලබාගෙන ඇත. ඔහු විසින් කොළඹ 07 ඉදිකරණ ලද සුවිසල් නිවස මේ සඳහා හොඳම සාක්ෂි දරයි. රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුට නීත්‍යානුකූළ ලෙස මෙතරම් ධනයක් රැස්කිරීමට කිසිසේත් නොහැකි වන අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් අවභාවිතා කිරීම මගින් මෙසේ ධනය රැස් කර ගත් බව නොරහසකි.