විජයදාස ගැන තීන්දුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මාධ්‍යට කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ළඟදීම තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව ද දැනටමත් ප්‍රකාශ වී අවසන්. එසේම මෙම විශ්වාසභංග යෝජනාව නුදුරේම කතානායකවරයාට බාර දෙනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

එහි දී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ මහජන දේපළක් වන හම්බන්තොට වරාය නැවත කෙසේ හෝ ජනතාව අතට පත් කර මිස ආපසු නොබලන බවයි. එම ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණයක් විවේචනය කිරීමක් ලෙසටයි එක්සත් ජාතික පක්ෂ ප්‍රබල අමාත්‍යවරුන් පවා හඳුන්වා දී ඇත්තේ. ජනාධිපතිවරයා හා සමස්ථ කැබිනට් මණ්ඩලය එකඟ වූ තීරණයක් විවේචනය කිරීම බරපතල ප්‍රශ්නයක් බව පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් චෝදනා කරනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කුරුණෑගල පැවති උත්සවකින් පසු මාධ්‍ය අමතමින් කියා සිටියේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම තීන්දුවක් ගත යුතු බවයි.