විජේදාසට එජාපයෙන්ම විශ්වාසභංගයක් – මැති ඇමතිවරු කඩිමුඩියේ අත්සන් කරයි…!

අධිකරණ  අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව එජාපයේම මන්ත්‍රීවරු පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. ආණ්ඩු පක්ෂයේම පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනඑන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මේවනවිටත් මැති ඇමතිවරු කිහිප දෙනකු ඒ සඳහා අත්සන් තබා ඇතැයිද එම ආරංචි පවසනවා. මේ සඳහා ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු  ඊයේ(10) අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ඒ පිළිබඳව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් පවසයි.

පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ ඇතැම් වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ පවරා ඇති නඩු කඩිනමින් නිම නොකිරීම, හම්බන්තොට වරාය බදු ගිවිසුම විවේචනය කිරීම, ඔහු වෙත එල්ල වවන චෝදනායි. තවද බොදුබල සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම් සමග ඉතා ලගින් ගණුදෙනු කිරීමද මොවුන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී ඇතැයි ද සඳහන්. එහිදී ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ ද විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවයි. එසේ නොකළහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවද පසුපෙළ මන්ත‍්‍රීවරුන් එහිදී අග‍්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙන බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් සාමුහිකත්වය කඩකර කටයුතු කිරීම ගැන රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගේ දැඩිද විවේචනය යොමු විණි.

හම්බන්තොට වරාය චීනයට බදු දීම දැඩි ලෙස විවේචනය කරමින් “හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නැහැ” යනුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් පළකළේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුනේ පසුගිය කාලයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳ නඩු කල් යාමට අධිකරණ ඇමතිවරයා වගකිව යුතු බවය.