“දේශප්‍රේමී” වීරවංශ තම ඥාතීන්ට නිවාස බෙදපු හැටි මෙන්න

රාජපක්ෂ කළු දශකය තුළ සිය අමාත්‍යාංශය හරහා බරපතල වංචා දූෂණ සිදු කළ අමාත්‍යවරු අතර කැපීපෙනෙන චරිතයකි විමල් වීරවංශ. ඔහු සම්බන්ධයෙන් විශාල වංචා හා දූෂණ චෝදනා තිබෙන නමුත් අද අප ඔබ හමුවට ගෙන එන්නේ කහතුඩුව සහ මත්තේගොඩ ප්‍රදේශවල ඉදිකරණලද මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයේ නිවාස විමල් වීරවංශ තම සමීපතම ඥාතීන් වෙත පැවරීමේදී සිදුවී ඇති දූෂණය පිළිබදවයි.

ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගමේ සභාපති විසින් ACC/FC/2015/131 අංක යටතේ දූෂණ ර්ධන කමිටු ලේකම් කාර්යාලයට කරණ ලද පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර තිබේ. මෙම සී/ස ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගම් නිවාස අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති සමාගමක් ලෙස මධ්‍යමපාන්තික නිවාස යෝජනා ක්‍රමයක් කහතුඩුව සහ මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිකරණ ලදී. එම නිවාස විමල් වීරවංශ විසින් තම ඥාතීන්ට සහ හිතවතුන්ට ඉතා අඩු මුදලට ලබාදී ඇති බව මේවනවිට තහවුරුවී තිබේ.

මත්තේගොඩ නිවාස දෙකක් මස්සිනාලට

එම මත්තේගොඩ නිවාස ව්‍යපෘතියේ අංක 16 දරණ නිවස විමල් වීරවංශගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමිපුර්ෂයා වන ඩබ්.ඩබ්. හේමසිරි මහතාට ලබා දී ඇති අතර ඔහු විසින් ගෙවීම් කර ඇත්තේ නිවසේ සම්පූර්ණ වටිනාකමින් 10%කි. තවද එම නිවාස ව්‍යාපෘතියේම අංක 10 දරණ නිවස විමල් වීරවංශගේ මස්සිනා වන ආන්නද ප්‍රියදර්ශන නැමති පුද්ගලයාට ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 10කටය. එම නිවසේ සැබෑ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය.

කහතුඩුව නිවස නෑනාට ලක්ෂ 07ට

කහතුඩුව නිවාස යෝජනා ක්‍රමයේ අංක 35 දරණ නිවස විමල් වීරවංශගේ මස්සිනාවන ජේ.ඩබ්. රූපසිංහ නැමති අයට ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 20කටය. එහි සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 98ක් වෙයි. මීට අමතරව එම කහතුඩුව නිවාස යෝජනා ක්‍රමයේම අංක 10 දරණ නිවස විමල් වීරවංශගේ නෑනා වන ජේ.ටී.එම්. රණවීර මහත්මියට ලබාදී ඇත්තේ රුපිල් ලක්ෂ 07 වැනි අඩු මුදලකටය. එම නිවසේ වටිනාකමද රුපියල් ලක්ෂ 98කි.

මෙම කහතුඩුව නිවාස යෝජනා ක්‍රමයේ රුපියල් මිලියන 98ක් වටිනා අංක 36 දරණ නිවස හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඉල්ලීමක් මත ප්‍රියන්ත මිලින්ද නැමති අයෙකුට ලබාදෙන ලද අතර අයකරගෙන ඇති මුදල ලක්ෂ 20ක් පමණි.

ඉහත සඳහන් චෝදනා අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි වන බැවින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2015.08.25 වනදින අංක S/DIG/FCID/OUT/194/15 දරණ ලිපිය මගින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් වැඩිදුර විමර්ශණ සදහා යොමු කොට ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු සිදු කරන අතරතුර මින් නිවාස කිහිපයක් අදාල පුද්ගලයින් විසින් නැවත රජයට භාරදී ඇති නමුත් තවත් නිවාස කිහිපයක් මේවනතෙක් බාරදී නොමැති බවද වාර්තා වේ. රාජපක්ෂ කළු දශකය තුළ මෙලෙස නීතිවිරෝධීව මහජන දේපළ උලාකෑ දේශපාලනඥයින්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මේ මොහොතේ සමාජය ඉදිරියේ ඇති බරපතල ගැටළුවකි. හොරුන්ට දූෂිතයින්ට දඬුවම් ලබා දෙන බවට ජනතාවට පොරොන්දුදී බලයට පැමිණි වත්මන් රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ මැතිඇමතිවරුද මේ මොහොතේ වංචා දුෂණ සිදුකරමින් මහ දවල් හොරාකමින් සිටින අතර අද ඔවුන්ට ඇඟිල්ල දිගු කරන්නේ එදා වංචා දූෂණ සිදු කළ පුද්ගලයින් වීමද හාස්‍යජනකම කරුණකි.