විජේදාස නෙරපන්නැයි රවීගේ නිවසේදී මැති ඇමතිවරු පිරිසක් අගමැතිගෙන් ඉල්ලයි.

හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නිවසට අද (10) පස්වරුවේ මැති ඇමතිවරු රැසක් රැස්ව සිටි අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඒ අතර විය.

මෙහිදී රජයේ අමාත්‍යවරයෙකු වු විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිව තිබෙන අතර ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි මැති ඇමතිවරු අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ. තවද මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීම විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ අරමුණ බවද ඇතැම් මැති ඇමතිවරු අගමැති රනිල් වික්‍රමසිංහට පවසා ඇත.

මේ අතර පසුගිය කාලයේ දුෂණ හා වංචා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම්වීම වැළැක්වීමට කටයුතු කිරීම හා කැබිනට් සාමුහිකත්වය කඩ කර කටයුතු කිරීම වැනි හේතු නිසා මෙසේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට මෙම මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන බවද වාර්තාවේ.