විජයකලාගෙන් විද්‍යා ඝාතන සිද්ධිය ගැන CIDය ප්‍රශ්න කරයි..!

විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්ට සහාය දක්වා ඇත්දැයි සොයා බැලීම සඳහා ළමා හා වනිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මියගෙන් දින කිහිපයක් ඇතුළත ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කයිට්ස් මහෙස්ත්‍රාත් මොහොමඩ් මිනාල් මහතා වෙත ඊයේ දැනුම් දුන්නේය.

ස්විස් කුමාර්ට යාපනයට පලා යෑමට සහාය දැක්වූවේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 22දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කයිට්ස් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ශිවලෝගනාදන් විද්‍යා දැරිය 2015 වසරේ මැයි 13දා සමූහ දූෂණයකට ලක් කිරීමෙන් පසු ඝාතනය කෙරුණු අතර ස්විස් කුමාර් නමැත්තා එහි ප්‍රධාන සැකකරු වේ.
ස්විස් කුමාර් නමැත්තාට සහාය දැක්වූයේ යැයි දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ලලිත් ජයසිංහ මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින හතර වැනි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන අතර ඔහුව මේ වන විට වැඩ තහනමට ලක්කර ඇත.