රක්ෂිත බන්ධනාගාරගතකරසිටි අන්තරේ කැඳවුම්කරුට ඇප

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත මුදා හැර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපල වලට අලාභ හානි සිදුකළ බවට එල්ල වූ චෝදනා මත මොහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

අදාළ නඩුව අද(09) කැඳවූ අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. ඒ, රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප තුනක් සහ රුපියල්  දස දහසක මුදල් ඇපයක් මතයි. කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක අදාල නියෝගය ලබා දුන්නා.

මෙම නියෝගය ලබා දෙමින් විනිසුරුවරයා පැවසුවේ ශිෂ්‍ය නායකයෙකු වන බැවින් ළහිරු වීරසේකර අනෙක් ශිෂ්‍යන්ට ද ආදර්ශයක් වන ලෙස ක‍්‍රියා කළ යුතු බවයි.

මනිලාල් වෛද්‍යතිලක විනිසුරුවරයා මෙහිදී සඳහන් කළේ සියලු දෙනා නීතියට යටත් බවත් නීතියට ගරු කළ යුතු බවත් නීතියට උඩින් කිසිවෙකුත් නැති බවයි. ශිෂ්‍ය නායකයෙකු ලෙස තරුණ පරපුරට ආදර්ශමත් ලෙස හැසිරෙන්නට කටයුතු කළ යුතු බවද පැවසුවා.