ඉන්දියාව පරදා ශූරයන්ගේ කුසලානය පාකිස්තානයට

ශූරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවන් වූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් 2017 වසරේ ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාව හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. ලන්ඩන් ඕවල් පිටියේදී අද පැවැති ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 180 කින් පරාජය කළේය.  පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් ලබාගත් අතර ඉන්දීය පිලට ඕවර 30.3 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 158 ක් පමණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරු වූයේ හර්දික් පාණ්ඩ්යාය. ඔහු ලකුණු 76ක් රැස්කළේ පන්දු 43කිනි. ඔහු සිය අර්ධ ශතකය පන්දු 38කින් වාර්තා කළ අතර අයි.සී.සී. ලෝක ඉසව්වකදී අවසන් මහ තරගයකදී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයද විය.

පාකිස්තාන කණ්ඩායමක් ශූරයන්ගේ කුසලානය ජයගත් පළමු අවස්ථාව මෙය වෙයි.