පෘතුගාල ලැව් ගින්නෙන් 58 දෙනෙකු මරුට

පෘතුගාලයේ Pedrógão Grande ප්‍රදේශයේ පැතිර යමින් පවතින වන ගිනි හේතුවෙන් 58 දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව බලධාරීහු පවසති. ඔවුන්ගෙන් බොහෝ දෙනා ගින්න ඇති වූ වනාන්තර ආසන්නයේ මාර්ගවල ගමන් කරමින් සිටි පිරිස් බවත් බලධාරීහූ ප්‍රකාශ කළහ.එයින් බොහෝ දෙනා මියගොස් තිබෙන්නේ සිය මෝටර් රථවලට නැග කොයිම්බ්‍රා නගරයට කිලෝමීටර 50 ක් පමණ ඈතින් පිහිටි එම ප්‍රදේශයෙන් පළායාමට උත්සාහ කළ අවස්ථාවේ ගින්නට කොටු වීමෙන් බව ආණ්ඩුව පවසයි.

අද (18) සවස් වනතුරුත් ගින්න නිවා ගැනීමට නොහැකිව තිබූ බව වාර්තා වූ අතර දශක ගණනාවකට පසු පෘතුගාලයට බලපෑ දරුණුතම ලැව් ගින්න මෙය යැයි ද වාර්තා විය.

ලිස්බින් අගනුවරට කිලෝමීටර 200ක් ගිනිකොන දෙසින් පිහිටි පෙද්‍රෝගාඕ ග්‍රාන්දේ කඳුවැටිය ආසන්න ප්‍රදේශය මෙම ගින්න ඇති වී තිබෙන අතර දැඩි සුළං සහ උෂණත්වය ඉතා අධික විය. ගින්න හේතුවෙන් 43 දෙනකු මියගිය බව තහවුරු කළ හැකි බවත් ගිනි නිවන භටයන් ඇතුළුව 80කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් පෘතුගාල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. තවත් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වී තිබේ.