සුසන්තිකා පැමිණ හිඟ වැටුප්වලට අදාළ චෙක්පත රැගෙන යයි

පසුගිය දිනවලදී මහත් කතාබහට ලක්වූ සුසන්තිකා ජයසිංහ මහත්මියගේ වැටුප් ප්‍රශ්නය විසඳමින් අප්‍රේල් හා මැයි මාසවලට ඇයට හිමි හිඟ වැටුප් ගෙවීමට ක්‍රීඩා අමාත්‍යාංශය  ඊයේ (14) කටයුතු කළ බව වාර්තා වේ. ඔලිම්පික් පදක්කම්ලාභී හිටපු සුපිරි කෙටි ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය ඊයේ රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ සිය හිඟ වැටුප්වලට අදාළ චෙක්පත්  රැගෙන ගිය බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරත් සඳහන් කරයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන තමාගේ වැටුප් හා දීමනා පසුගිය අප්‍රේල් මාසයේ සිට අත්හිටුවා ඇතැයි ඇය ක්‍රීඩා අමාත්‍යාංශයට චෝදනා කර තිබුණි.

කෙසේ වුවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සුසන්තිකාගේ චෝදනාවට පිළිතුරු දෙමින් පැවසුවේ රජය විසින් ඇයට ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ නොකිරීමෙන් ඇගේ වැටුප් අත්හිටුවීමට පියවරගත් නමුත් එය ඉටුකිරීමෙන් පසුව ඇයට නියමිත පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවට හිමි වැටුප් දිගටම ගෙවීමට කටයුතු කරන බවයි.