කබීර් – යාපා අවුල තවදුරටත් – ඇමැති යාපා ගෙදර සිට වැඩ අරඹයි.

අමාත්‍යාංශය තුළ තමාට ඉඩ නොමැතිනම් නිවසේ සිට හෝ රාජකාරි කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ගංවතුර ප්‍රශ්නය අවසන් වූ වහාම තමා වැඩ බාර ගන්නා බවත් අදාල අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා භාවිතා කළ දේවල් තමාට ලබා දිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පසුගියදා අමාත්‍යංශයට වැඩ බාරගැනීමට ගිය ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාට නිලධාරීන් සඳහන් ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාට අයත් ස්ථානයෙන් කොටසක් එහා පැත්තට ගෙන ඇති බවයි. ඒ හේතුවෙන් තමාගේ කාර්ය මණ්ඩලයට ඉඩ පහසුකම් අඩුවක් වී ඇතැයි විරෝධයපා  ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ආපසු පැමිණ තිබේ.

කෙසේ වෙතත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස අලුතින් පත්ව සිටින ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාට දැනට ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ පිහිටි රාජ්‍ය ව්‍යවසාය අමත්‍යාංශයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවනු ඇතැයි එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මීට හේතු වී ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන විෂය සඳහා අලුතින් රාජ්‍ය ඇමැතිවරයකු පත්කළ විට වෙනම අමාත්‍යාංශ ලේකම්වරයකු සහ ඒ යටතේ අවම වශයෙන් රාජ්‍ය නිලධාරීන් 20 දෙනකුගෙන් යුත් පරිපාලන කාර්ය මණ්‌ඩලයක්‌ ඊට ඇතුළත්වීමයි.

එරාන් වික්‍රමරත්න මහතා කලින් සිටියේ එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස බැවින් එවැනි ඉඩකඩ ප්‍රශ්නයක්‌ මතු නොවූ බවත් වාර්තා වේ.