ගෝඨාගේ හිටපු බුද්ධි අංශ ලොක්කා එෆ්සීඅයිඩීයට

හිටපු  ජාතික බුද්ධි අංශ ප‍්‍රධානි විශ‍්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා  අද (14) පෙරවරුවේ  මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා ඇති බව වාර්තා වේ. පසුගිය සමයේ සිදුවු මුල්‍ය ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ කෙරෙන පරීක්ෂණ සදහා ප‍්‍රකාශයක් ලබා ගැනීමට හෙතෙම මෙලෙස කැඳවා ඇති බවද පැවසේ.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පවත්වාගෙන යන කේබල් රූපවාහිනී ආයතනකින් සහ තවත්  ආයතන කිහිපයකින් මිලියන  ගණනක මුදලක්  සිය ගිණුමට බැරකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත  මුල්‍ය අපරාධ කොට්ඨාසයේ විසින් සිදු කෙරෙන පරීක්ෂණයක් අනුව මෙම ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිත බවවත් වැඩි දුරටත් වාර්තා වේ.

හෙන්දාවිතාරණ මහතා ඉකුත් රජය සමයේ ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කර ඇති අතර ඒ මහතා ප‍්‍රකාශ ලබා ගැනීම සදහා මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවු ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

ඉකුත් රජය සමයේ වු පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදන් වීම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද හෙන්දාවිතාරණ මහතාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.