ශ්‍රී ලංකාවේ යුක්තිය පිළිබඳ අභිලාෂයන් සෑම මට්ටමකදීම පරාජය වෙයි – AHRC

2016 දෙසැම්බර් 10  වැනිදාට යෙදී ඇති  මානව හිමිකම් දිනය වෙනුවෙන් ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කරන ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජයීය සහ සංස්කෘතික ජීවිතයේ තවමත් පුළුල් ලෙස පැතිර තිබෙන්නේ මානව අභිමානය සහ මානව හිමිකම් සෑම ආකාරයකින්ම අපහරණය කිරීමට සම්බන්ධිත ලැජ්ජා විරහිත දණ්ඩ මුක්තියයි. මේ පුළුල් ලෙස පැතිර තිබෙනා ලැජ්ජා විරහිත දණ්ඩන මුක්තිය ශ්‍රී ලංකාවේ සමස්ත නීති පද්ධතිය තුළ ද පුළුල් ලෙස පැතිර ගොස් ඇත.
ආරක්ෂක අංශ නිලධාරීන් ද ඇතුලුව රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන කිසිම මානව හිමිකම් උල්ලංඝනයක් සම්බන්ධයෙන් යුක්තියක් ඉටුකරවා ගත නොහැකි තැනට එය මේ වන විට පත්ව තිබේ. මේ ආකාරයේ දණ්ඩන මුක්තියක් හෙවත් වැරදි කළත් දඬුවම් හෝ විපාක නොලබා සිටිය හැකි බවට සමාජයේ පවතින දැනුවත්භාවයම, රට පුරා ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා දිරි දෙන්නක් බවට පත්ව තිබේ. එබඳු අපහණයන්ගෙන් පීඩා විඳ ජනතාව අධිකරණයට ගිය විට සෑම අවස්ථාවකදීම පාහේ ඔවුහු පරාජය වෙති. සමස්ත යුක්තික පද්ධතියම හොඳින් සකස් වී තිබෙන්නේ ජනතාවගේ යුක්තිය පිළිබඳ අභිලාෂය පරාජය කිරීම සඳහා ය.
විනිශ්චයික පද්ධතියේ පවතින ප්‍රමාදය, යුක්තිය සොයන සෑම පුරවැසියෙකුගේම ගෙළෙහි එල්ලෙන අසිපතකි. බරපතළ අයුක්තියකට ලක්වී යුක්තිය සොයමින් යන අයෙකුට වසර ගණන් උසාවි ක්‍රමය වටේ රවුම් ගැසීමට සිදුවන අතර අවසානයේ බලාපොරොත්තු විය හැක්කේ ඉතාම සුළු ප්‍රතිඵලයකි. තවද ඒ ප්‍රතිඵලය තමන්ට යුක්තිය ඉටුකර දෙන ලෙසට ඔහු හෝ ඇය යුක්තික පද්ධතියෙන් ඉල්ලා සිටි දෙය ද බොහෝ විට නොලැබේ.
මේ අවනීතික ක්‍රමයෙන් දේශපාලන ක්‍රමය වාසි ලබයි. මෙවැනි ක්‍රමයක් පවතින තාක් කල්, ජනතාවට යහපතක් කරන දේශපාලන ක්‍රමයක් සකස් කර ගැනීම කිසිසේත්ම කළ හැකි දෙයක් නොවනු ඇත.
ආසියානු මානව හිමිකම් කොමිසම විසින් අතීතයේදී නිරන්තරයෙන්ම මෙවැනි සිද්ධි පිළිබඳ සවිස්තරාත්මක විස්තර පළ කර තිබේ. ඒ, ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන්නේ කෙසේද යන්න පෙන්වා දීමට සහ, අවසානයේ, යුක්තිය සොයන වින්දිතයා ඒ යුක්තික ක්‍රමයෙන්ම නින්දා අපහාස ලබා අපේක්ෂා භංගත්වයට පත්වන අන්දම විදහා දැක්වීම සඳහා ය.
2016 මානව හිමිකම් දිනය සමරන මේ අවස්ථාවේදී ආසියානු මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකාවේ අසාර්ථක යුක්තික ක්‍රමය පිළිබඳ වාර්තාවක් පළ කර ඇති අතර, මානව හිමිකම්වලට අභිමානයක් ලබාගැනීමට අතිශයින්ම නොහැකි වීම පිළිබඳ මෙම ප්‍රශ්නය ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ජනයා අතර සාකච්ඡාවට ලක්වන කාරණයක් බවට පත්විය හැකිය.
යුක්තික ක්‍රමයට මූලික ප්‍රතිසංස්කරණ සිදුකරන තෙක් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සහ යුක්තිය සඳහා අනාගතයේදී කිසිදු ගෞරවයක් ලබාගැනීමට හැකියාවක් නැත. කෙසේ නමුත් මේ ක්‍රමයෙන් වාසි ලබනා රටේ පවතින දේශපාලන ක්‍රමය නම් යුක්තික ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ඇඟිල්ලක්වත් ඔසවන එකක් නැත.
කළ හැකි එකම දෙය වන්නේ රටේ පවතින මේ දැවැන්ත අවනීතික ක්‍රමය පිළිබඳ වාර්තාවක් තබා යාමයි. මේ අනුව, “ශ්‍රී ලංකාවේ යුක්තික ක්‍රමයේ අර්බුදය” (Crisis of the Justice System in Sri Lanka)  යන මාතෘකාවෙන් යුක්ත මේ වාර්තාව අපි මෙහි පළ කරමු. තවද, මේ ගැටලුව පිළිබඳ මෙනෙහි කිරීමට කැමත්තක් සහ විනීතභාවයක් තිබෙන යමෙක් වේ නම් ඒ සෑම කෙනෙකුම ආමන්ත්‍රණය කර සිටිමු.
සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න.